බුද්ධ පරිනිර්වාණයෙන් වසර 100 කට පසු එවකට සිටි වජ්ජිපුත්තක භික්ෂූන් විසින් ධර්ම විනය විනාශ කරමින් කටයුතු කිරීම නිසා 2 වන ධර්ම සංගායනාව පැවැත්වීමට කටයුතු සිදු විය. කාලාශෝක රජුගේ අනුග්‍රහය මත සිදු වුන මෙම ධර්ම සංගායනාවේදී 1000 ක් වූ එම භික්ෂූන් ථේරීය වංශයෙන් ඉවත් කිරීමට කටයුතු කරන ලදි. නමුත් මෙම වජ්ජිපුත්තකයන් විසින් මින් පසුව එක් රැස්වී ඔවුන්ගේ සංගායනාවක්ද පැවැත්වීය. ඔවුන් 1000කගේ සම්බන්ධයෙන් මෙය පැවැති බැවින් මෙයට මහා සංගීතිය යැයිද කියනු ලැබේ. එබැවින් මොවුන්ව මහා සංගීතික නිකාය ලෙසටද හැඳින්විනි. මේ මගින් ඔවුන් විනය වෙනස් කර ගත්තේ ඔවුන්ට ගැලපෙන ආකාරයටයි.
කෙසේ වෙතත් තවත් ටික කාලයක් ගත වීමේදී මෙම නිකායද තවත් කොටස් වලට කැඩී යන ලදි. එසේම එතෙක් පැවැති ථේරීය වංශයද කොටස් කීපයකට කැඩී යන ලදි. ඒ අනුව නිකායන් 18ක් පමණ එකල විය. මහිංසාසක හා වජ්ජිපුත්තක ඒ අතරින් නිකාය 2කි. අන්තරාභව වාදය මතු කරන ලද්දේ පසුව මොවුන්ගේ මූලිකත්වයෙනි. ථේර වංශය හැරුණු විට අන් නිකායන්හි භික්ෂු වේශධාරීන් තම තමන්ට ගැලපෙන ලෙස ධර්ම විනය වෙනස් කර ගනු ලැබීය. කෙසේ වෙතත් මෙසේ නිකායන්ට බෙදී පිරිසිදු බුද්ධ ධර්මය පවත්වාගෙන යමින් කටයුතු කල ථේර වංශයට පටහැනිව යාම තුල ඔවුන් වෛතුල්‍යවාදීන් ලෙසට හැඳින්විනි.
මෙසේ විනය වෙනස් කරමින් කටයුතු කිරීම තුල දී 3වන ධර්ම සංගායනාව පැවැත්වීමට අවශ්‍ය පසුබිම සකස් විය. එය පැවැත්වීමට පෙර අශෝක රජතුමා විසින් මහත් උත්සහයක් දරා තමන්ට විනය පිටකය සම්පුර්ණයෙන්ම උගැන්වීමට මොග්ගලීපුත්ත තිස්ස මහ රහතන් වහන්සේව කැමති කරවා ගත්තේය. ඒ අනුව රජතුමා මුලු විනය පිටකයම මනා ලෙස උන් වහන්සේගෙන් ඉගෙන ගනු ලැබීය. ඉන් පසුව මුලු දඹදිව ම සිටි සෑම නිකායකටම අයත් භික්ෂූන් පාඨලීපුත්‍රයේ අශෝකාරාමයට කැඳවා එක් කොට රජු විසින්ම මොග්ගලීපුත්ත තිස්ස රහතන් වහන්සේ ද ගුරු කොට එක් එක් භික්ෂුව කැඳවා විනය විචාරණ ලදි. එහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රමණ වේශධාරී භික්ෂූන් 60000ක් සිවුරු හැරවා සසුනෙන් නෙරපීමට සිදුවිය. එසේම පසුව 3 වන ධර්ම සංගායනාවද රජුගේ අනුග්‍රහයෙන් ත්‍රිපිටකධාරී රහතන් වහන්සේලා 1000කගේ සහභාගීත්‍වයෙන් පවත්වන ලදි. එහි මූලිකත්වය ගනු ලැබුවේ මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේ විසිනි. එය බු.වර්ෂ 234 නවම් මස ඇරඹ බු.වර්ෂ 235 ඉල් මස තෙක් පවත්වන ලදි.
මෙම සංගායනාවේ වූ විශේෂත්වයක් වේ. බුදුන් විසින් මෙම 3 වන සංගායනාව වන කාලය වන විට ශාසනය තුල ශාසනයට පටහැනි භික්ෂු වේශධාරීන් ඇති වන බව දැක අභිධර්ම පිටකයේ පස්වන ග්‍රන්ථය සඳහා මාර්තෘකා කීපයක් දේශනා කර තිබිනි. ත්‍රිපිටකධාරී මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේ විසින් මෙම සංගායනාවේදී එම මාරතෘකා සම්පූර්ණ කරනු ලැබීම එම විශේෂත්වයයි. බුදුන් විසින් අනු දැන වදාළ බැවින් මෙම ධර්ම කොටසද බුද්ධ දේශනාව ලෙසටම සලකනු ලබයි. මෙම දේශනාවලිය කථාවත්ථුප්පකරණය ලෙස හැඳින්වේ. මුන් වහන්සේ විසින් මෙකල මහිංසාසක වජ්ජිපුත්තක නිකායිකයින්ගෙන් පැවති පුබ්බකේසිය සංයුතියයන් විසින් ඉදිරිපත් කර තිබූ අන්තරාභව වාදය සම්බන්ධයෙන් මැනවින් පිළිතුරු ලබා දී එම වාදයට පිළිබඳ අවසන් නිගමනයක් පිරිසිදු බුද්ධ දේශනාවට අනුව ලබා දී ඇත්තේය. කථාවත්ථුපකරණයේ උන්වහන්සේ ඇතුලත් කරනු ලැබ ඇති පරිදි ඒ පිළිපඳව අපි අවධානය යොමු කර බලමු. එය ප්‍රශ‍්ණෝත්තර ස්වභාවයකින් ඇතුලත් කර ඇත. ඒ අනුව
ප්‍ර. අන්තරාභවයක් ඇත්ද? එවිට අන්‍ය ලබ්ධිකයන් විසින් ඇත ලෙස පිළිතුරු ලබා දේ.
ප්‍ර. එය කාම භවයට/ රූප භවයට හෝ අරූප භවයට අයත්ද? එවිට අන්‍ය ලබ්ධිකයන් විසින් නැත ලෙස පිළිතුරු ලබා දේ.
ප්‍ර. එසේ නම් එය කාම භව - රූප භව අතරද නැතිනම් රූප භව - අරූප භව අතර පවත්නේද? එවිටද අන්‍ය ලබ්ධිකයන් විසින් නැත ලෙස පිළිතුරු ලබා දේ.
ප්‍ර. එසේනම් සංඥා/ අසංඥා හෝ නේවසංඥානාසංඥා භවයන්ට අයත් වේද? එවිටද අන්‍ය ලබ්ධිකයන් විසින් නැත ලෙස පිළිතුරු ලබා දේ.
ප්‍ර. එසේනම් මේ භව අතර පවතින භවයක්ද? එවිටද අන්‍ය ලබ්ධිකයන් විසින් නැත ලෙස පිළිතුරු ලබා දේ.
ප්‍ර. එසේනම් අන්තරාභවය ඒකවෝකාර/ චතූකාර භව හෝ පංචවෝකාර යන භවයන්ට අයත්ද? එවිටද අන්‍ය ලබ්ධිකයන් විසින් නැත ලෙස පිළිතුරු ලබා දේ.
ප්‍ර. එසේනම් මේ අතර පවතින්නක්ද? නැත.
ප්‍ර. එසේනම් මනු ලොව / දෙව් ලොව/ බඹ ලොව හා අපායේ උපත ලබන ආකාර 4ට අයත්ද? එවිටද අන්‍ය ලබ්ධිකයන් විසින් නැත ලෙස පිළිතුරු ලබා දේ.
ප්‍ර. එසේනම් උප්පත්ති ලබන පස්වන ආකාරයක්ද? එසේත් නැත.
ප්‍ර. එසේනම් නිරය තිරශ්චීන මනුෂ්‍ය ආදී වන්නාවූ ගති 5න් කුමන ගතියකට අයත්ද? එම ගතියකට අයත් නැත.
ප්‍ර. එසේනම් සයවන ගතියක්ද? එවිටද අන්‍ය ලබ්ධිකයන් විසින් නැත ලෙස පිළිතුරු ලබා දේ.
ප්‍ර. එසේනම් සප්ත විඤ්ඤාණුස්සතීන්ට අයත්ද? එවිටත් අන්‍ය ලබ්ධිකයන් විසින් නැත ලෙස පිළිතුරු ලබා දේ.
ප්‍ර. එසේනම් මින් බැහැර එකක්ද? එයටද ලැබෙන්නේ නැත යන පිළිතුරමය.
ප්‍ර. මේ අන්තරභවය සත්තාවාස 9ට අයත්ද? එවිටද අන්‍ය ලබ්ධිකයන් විසින් නැත ලෙස පිළිතුරු ලබා දේ.
ප්‍ර. ඒ හැර වෙන එකකට අයිතිද? නැත.
මේ අනුව බුද්ධ දේශනාවේදී දක්වන්නාවූ එකදු භවයකට හෝ අන්තරාභවය අයත් නොවන බව පැහැදිලිය. තව දුරටත් අප මෙය විමසමු.
ප්‍ර. කාම/ රූප හා අරූප යන භවයන්ට අයත් සත්වයෝ සිටී. අන්තරාභවයට අයත් සත්වයෝත් සිටීද? නැත.
ප්‍ර. අන්තරාභවයේත් සත්වයෝ උපදිනවාද ලෙඩ වෙනවාද මැරෙනවාද? නැත.
ප්‍ර. එසේ නම් චුතියත් පටිසන්ධියත් අතර පවතින්නක්ද? එසේත් නැත.
ප්‍ර. අන්තරාභවයේ උපදින්නාට රූපයක් තිබේද? නැත.
ප්‍ර. එසේනම් වේදනා ධර්ම ඇත්තේද? එසේත් නැත.
ප්‍ර. එක් එක් භවයන්හි ඉපදීමට නොයෙක් කර්ම හේතු වෙයි. අන්තරාභවයටත් එවැනි කර්මයක් ඇත්ද? එසේත් නැත.
මේ අනුවත් බුද්ධ දේශනාවට මේ අන්තරාභවය යන්න පටහැනි බව පැහැදිලිවේ.
ප්‍ර. අන්තරාභවය යැයි කියන්නේ ඇයි? මෙවිට අන්‍ය ලබ්ධිකයන් දෙන පිළිතුර වන්නේ අන්තරා පරිනිබ්බායි ලෙස බුද්ධ දේශනාවේ දැක්වෙන නිසායි යන්නයි.
ප්‍ර. අන්තරා පරිනිබ්බායි ලෙස අනාගාමී නමක් සිටී. එසේම උපමාන පරිනිබ්බායී ලෙසද සිටී. එසේනම් එවැනි භවයක්ද තිබිය යුතුය. එවැනි භවයකුත් ඇත්ද? එසේ නැත.
ප්‍ර. අසංඛාර හා සසංඛාර පරිනිබ්බායි ලෙසද සිටී.ඔවුන්ටද මෙසේ භවයන් වේද? නැත.
මේ අනුවත් බුද්ධ දේශනාවට මේ අන්තරාභවය යන්න පටහැනි බව තවත් පැහැදිලිවේ.
ඉහත ආකාරයට මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේ අපට පිරිසුදු බුද්ධ ධර්මයට අනුව අන්තරභවය යන්න මිථ්‍යා දෘෂ්ටියක් බව පැහැදිලි කර දෙනු ලබයි.
එසේම මේ අන්තරාභව වාදයට අනුව දක්වන්නේ මරණින් මතු සත්වයා දින 7ක් හෝ කාලයක් ඉපදීමට ස්ථානයක් සොයමින් සැරිසරමින් සිටින බවයි. මේ පිළිබඳව වුවමනා තරම් කරුණු ඇති හෙයින් අන්තරාභවය යන්න පැහැදිලි කිරීමට වැඩි වෙහෙසක් මම නොදරමි.
කෙසේ වෙතත් අන්තරාභව වාදයට අනුව රූපයක් නැතිව නාමයක් පමණක් අහසේ ගමන් කරනු ලබයි. එසේම ඔවුන් දක්වන්නේ එය දිවැසට පෙනෙන බවයි. නමුත් රූපයක් නොමැතිව දිවැසට නොපෙනෙන බව බුද්ධ දේශනාවට අනුව පැහැදිලි කරුණකි. එසේම ඔවුන් දක්වන තවත් කරුණක් වන්නේ ගන්ධයක් නැති වුවත් එය ආඝ්‍රාණය කල හැකි බවයි. එයද රූපයක් නොමැතිව කල නොහැකි බව ඉතාම පැහැදිලිය. තව දුරටත් අන්තරාභව වාදයේදී දක්වන්නේ මෙසේ සැරිසරමින් සිටින අන්තරාභවිකයා තමා හා සමානයකු දුටු තැනදී කථා කරන බවයි. එහෙත් රූපයක් නැතිව නාමයකට පමණක් කථා කල නොහැකි බව බුද්ධ දේශනාවට අනුව පැහැදිලි කරුණකි. එසේම ඔවුන් පවසන්නේ මෙසේ අන්තරාභවිකයෙකු අහසේ සිටින්නේ තමාට ගැලපෙන මව් කුසක් ලැබෙන තෙක් බවයි. එසේනම් ගැලපෙන මවි කුසක් තෝරා ගැනීමට දිවැසක් තිබිය යුතු වේ. අනෙක් අතට ගැලපෙන මව් කුසකටම එන්නේ නම් අන්ධ ගොලු බිහිරි කොර දුප්පත් අය ඉපදීමට නොහැක.
අනෙක් අතට ත්‍රිපිටකයේ කිසිදු තැනක අන්තරාභවය ලෙස භවයක් දේශනා කර ඇති බවක් නොපෙනේ. නමුත් කාම /රූප/ අරූප/ සංඥා/ අසංඥා/ නේවසංඥානාසංඥා /ඒකවෝකාර/ චතූකාර/ පංචවෝකාර යන භව 9 දේශනා කර තිබේ. මේ භව 9ට අයත් නාමරූප ස්කන්ධ ධාතු ආයතන ප්‍රමාණ දේශනා කර තිබේ. නමුත් අන්තරාභවයට එසේ නැත. එසේ නොවන විට එය බුද්ධ දේශනාවට අනුව විමසූ විට පරමාර්ථ ධර්මයක් නොවේ.
මේ අනුව විමසන විට මේ අන්තරාභව සංකල්පය යන්න උන්වහන්සේගේ සම්බුද්ධ දේශනයට විරුද්ධ ඉගැන්වීමක් බව පැහැදිලිය. උන්වහන්සේ භව 9ක් හඳුන්වා දුන් විටදී අන්තරාභවිකයෝ එයට තවත් භවයක් එකතු කොට එය භව දහයක් කරති. බුදු රජාණන් වහන්සේ දේශනා කරන්නේ තමන් විසින් නොපැණවූ දෙය නොපනවන ලෙසත් පැනවූ දෙය කඩ නොකරන ලෙසත් ඒ දෙය එලෙසම පවත්නට හරින ලෙසත්ය. එසේ නම් මෙම අන්තරාභවය ඉගැන්වීම පැතිරවීම තුල සිදු කරන්නේ බුදුන් වදාල සද්ධර්මය විකෘති කිරීමක් බව පැහැදිලිය.
දැනට අවුරුදු කීපයක සිට ලංකාව තුල අන්තරාභව පිළිබඳව කථා කිරීමට පටන් ගෙන ඇති නිසාත් දැනට එය ව්‍යාප්තව ඇති නිසාත් මෙම ලිපිය ලිවීමට තීරණය කළෙමි. අද වන විට එක් පිරිසක් අන්තරාභවයක් ඇති බවටත් තවත් පිරිසක් අන්තරාභවයක් නැති බවටත් දෙපිලකට බෙදී සිටී. මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේ විසින් දේශනා කරන ආකාරයට (උන්වහන්සේගේ දේශනය මම කෙටියෙන් ඉහතදී දැක්වූයෙමි.වැඩි විස්තර දැනගැනීමට කරුණාකර කථාවත්ථුපප්කරණය බලන්න.) අන්තරාභවයක් නැතැයි කියන පිරිස නිවැරදිවේ. එසේ වන්නේ නම් පැහැදිලිවම අන්තරභවයක් ඇතැයි මත පතුරවමින් ධර්මය විකෘති කරනු ලබන්නෝ කර ගනු ලබන්නේ මහා අකුසලයකි. නොමැති දෙයක් ඇති ලෙස දැකීම සම්මා දෘෂ්ටිය නොවේ. එය මිථ්‍යා දෘෂ්ටියයි. මිථ්‍යා දෘෂ්ටිය දැරීමේ ප්‍රති ථලයේ ඇති භයංකාර කම බෞද්ධ සියල්ලෝම දනිති. ඔවුන්ට කිසි දිනක සසරින් එතෙර වීමට නම් නොහැකිය. බුද්ධ දේශනාවේ නොමැති මතයක් ඇති බවට විශ්වාස කරන්නාවූ යම් පිරිසක් වේ නම් ඔවුන් තව දුරටත් පිරිසිදු ධර්මය හැදෑරීම පිණිස යොමු වේවා. ඒ තුලින් ඔවුන්ට සද්ධර්මය වටහා ගැනීමට මේ කුසල් හේතු වේවා. සද්ධර්මය වටහා ගනිමින් සම්මා දෘෂ්ටිය ඇති කරගැනීමටත් ඒ තුලින් නිර්වානය අවබෝධ කර ගැනීමටත් මේ කුසල් හේතු වේවා.
No comments:
Post a Comment